Tuesday, July 21, 2015

Professor Carlo Fonseka


Carlo Fonseka was a Sri Lankan physician, academic and political activist. He is former dean of the Faculty of Medicine, University of Kelaniya and a former president of the Sri Lanka Medical Council
Born March 4 1933
Died: September 2, 2019




 මුළු මහත් ශ්‍රී ලාංකීය ජනතාව අතර අතිශය ජනප්‍රියතාවටත්, ආදර ගෞරවයටත්, නිරතුරු ව ම පාත්‍ර වීමේ භාග්‍ය ලද චින්තනමය බුද්ධිමතකු වූ ආකර්‍ෂණීය චරිතයක්‌ සතු මහාචාර්ය කාලෝ ෆොන්සේකා මැතිතුමන් පිළිබද මෙසේ සටහන් තැබිමට මා වාසනාවන්ත වීම ගැන පළමුව සතුටු වෙමි.


මෙතුමා වෛද්‍ය ක්‍ෂේත්‍රය තුළත්, සමාජය සහ සාහිත්‍ය තුළත්, එකිනෙකට වෙනස් වූ විෂයන් ගණනාවක් අරබයා පුළුල් පරාසයක් තුළ  තම දැනුම මුවහත් කර ගනිමින් අපූර්ව දක්ෂතා විෂද කරන සහජ ප්‍රතිභා ශක්තියෙන් අනූන පුද්ගලයෙකි.

ෆොන්සේකා මහාචාර්යතුමා ජීවිත ගමනේ ඉතා දුර ගමනක් ගිය දුර්ලබ ගණයේ බුද්ධිමතකු ලෙස හැදින්විය හැකි ය. ඒතුමා නිර්භීත නිදහස් චින්තනයකින් හෙබි චින්තනවේදියකු ද වේ.

එසේ ම ඒතුමා දක්‍ෂ කථිකයෙකු ද දේශකයෙකු ද වේ. උපහාස කතා කියමින් තම දේශන විලාසය ද ඉතා සිත් ගන්නා සුලු අයුරින් ඉදිරිපත් කරන මෙතුමා තවත් විටෙක සමාජවාදී අදහස් දරන දේශපාලන චරිතයක් බවට ද පත් වෙයි.

කිසියම් ආගමකට දැඩි ව බැඳුණු සමහර පුද්ගලයන්ට වඩා, වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම මෙතුමා ඉතා ආදර්ශවත් චරිතයකි. එතුමා ක්‍රිස්‌තු චරිතයට මෙන් ම බුද්ධ චරිතයට ද තම ජිවිත ආදර්ශය තුළින් ම ගෞරව කරයි.

මෙතුමා ඉතා කාරුණික ව අන් අයට යහපත අයහපත වටහා දෙමින්  නිවැරදි මාවත පෙන්වීමට කටයුතු කරයි. ඒ මග පෙන්වීම ලැබ තම අඩුපාඩු නිවැරදි කරගත් විද්වතුන් අප රටෙහි කොතෙකුත් ඇත. 

විටෙක ඔහු අප සමාජයෙහි ප්‍රකට විද්වතෙකි; උත්තම ගණයේ ගුරුවරයෙකි; වෛද්‍යවරයෙකි; මහාචාර්යවරයෙකි; දක්‍ෂ දේශකයෙකි. තවත් විටෙක එතුමා විශිෂ්ට සාහිත්‍යධරයෙකි; කලා විචාරකයෙකි; ගීත රචකයෙකි. ඒ සැමට ම වඩා එතුමා අපූරු මානව හිතවාදියෙකි.

සහකාර වෛද්‍ය නිලධාරියකු වූ තිත්තලපිටිගේ ජෝර්ජ් ඇල්බට් ෆොන්සේකා මහතා එතුමාගේ පියාණන්‍ ය.  එක්දහස් නමසිය තිස් තුනේ මාර්තු මස හතර වනදා සහකාර වෛද්‍ය ජෝර්ජ් ඇල්බට් ෆොන්සේකා මහතාට දාව, ආරච්චි‍ගේ ඇලිස් ප්‍රනාන්දු මහත්මියගේ කුසින් මෙලොව එළිය දුටු මහාචාර්ය කාලෝ ෆොන්සේකා, පිරිමි දරුවන් සිව් දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමහල් පිරිමි දරුවා විය. මෙතුමාගේ ග්‍රාමය  දිවුලපිටිය යි.

කාලෝ ෆොන්සේකා මහාචාර්යතුමා තම ප‍්‍රාථමික අධ්‍යාපනය ලබා ගනු ලැබුවේ මීගමුවේ මාරිස්ටෙලා විද්‍යාලයෙන් ය. ද්වියිතික අධ්‍යාපනය කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයෙන් සම්පුර්ණ කරගත් එතුමා, වෛද්‍ය විද්‍යාව හැදෑරීමට 1955 වසරේ දී කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් විමට වරම් ලබා ගත්තේ ය. සහකාර වෛද්‍යවරයකු හෙවත් ඇපෝතිකරි දොස්තර කෙනකු වූ තම පියා රෝගීන් සුව කරන ආකාරය ගැන විමසිලිමත් වූ මෙතුමා තමාත් එම උත්තම වූ සේවාවට ප්‍රවිෂ්ට විය යුතු යැයි හැඟීමක් ඇති කර ගන්නට ඇත.

1960 වසරේ දී ‘MBBS‘ ප්‍රථම ශ්‍රේණියේ උපාධියක් හිමි කරගත් කාලෝ ෆොන්සේකා මහාචාර්යතුමා එසේ ඉතා ඉහළින් උත්කෘෂ්ට ලෙස තම කුසලතා ප්‍රදර්ශනය කිරීමේ හේතුවෙන් මෙම අවසන් විභාගයෙන් ශ්‍රෙෂ්ඨතම හැකියාවන් සඳහා වන  ශ්‍රීමත් ඇන්ඩෲ කැල්ඩිකෝට් රන් පදක්කම ද හිමි කරගෙන ඇත. (Sir Andrew Caldecott Gold Medal for the greatest competence at the Final Examination) එතුමා සෑම විභාගයකින් ම විශිෂ්ට සාමර්ථයන් ලබා තව බොහෝ සම්මාන ද හිමි කර ගෙන ඇති බව මෙහි ලා වැඩිදුරටත් සඳහන් කිරීමට කැමැත්තෙමි. එසේ ම සෑම වසර තුනකට ම වරක් දක්ෂතම ශිෂ්‍යයාට පිරිනමන ‘පෙරී සම්මානය (Perry Exhibition ) ද මෙතුමාට වෛද්‍ය විද්‍යාලයේ දී හිමි කර ගැනීමට හැකි විය.

මනුෂ්‍ය වර්ගයගේ සුවය පිණිස සේවය කරන්නට ලැබීම ජිවිතයේ මහත් වූ භාග්‍යයක් කොට සැලකු කාලෝ ෆොන්සේකා මහාචාර්යතුමා 1960 වර්‍ෂයේ දී වෛද්‍යවරයකු ලෙස තම උත්තරීතර සේවය ආරම්භ කරන ලදි.

1961 වසරේ ජනවාරි මස 26 වන දා තමා කුඩා කාලයේ පටන් දැන හැඳිනගෙන සිටි හෙලන් පර්ල් පණ්ඩිතරත්න නම් වූ කාන්තාව සමග විවාහ දිවියට පිවිස, ඉඳුනිල් නම් වූ ආදරණිය දියණියකගේ සහ සුරංග නම් වූ ආදරණීය පුතණුවකුගේ පෙම්බර පියාණන් බවට එතුමා පත් විය.

1963 වර්‍ෂයේ දී තම ආචාර්ය උපාධිය සදහා ස්කොට්ලන්තය කරා ගිය කාලෝ ෆොන්සේකා මහාචාර්යතුමා ස්කොට්ලන්තයෙහි දී එඩින්බරා විශ්වවිද්‍යාලයෙන් (Edinburgh University Scotland) තම ආචාර්ය උපාධිය ලබා නැවතත් අප දේශයට පැමිණියේ තමාගේ පරම යුතුකම තම මව් බිමට නොපමාව ඉටු කරන්නට ය.

එසේ පැමිණ, ශ්‍රී ලාංකීය වෛද්‍ය පරපුරකට ස්වකිය දැනුම බෙදා දුන් මෙතුමා වෙත එම ක්‍ෂේත්‍රයන් තුළ පමණක් නොව සියලු ම අධ්‍යාපන ක්‍ෂේත්‍රයන් තුළ සහ කලා ක්‍ෂේත්‍රයන් තුළත් සිසු දරුවන් තුළ ඇත්තේ ඉමහත් ගෞරවාදරයකි. එතුමා 1999 වසරේ දී බෞද්ධ අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය කැලණි විශ්වවිද්‍යාලයෙන් ලබා ගන්නා ලදි.

අභාවප්‍රාප්ත වූ ජනකාන්ත නළු විජය කුමාරතුංග සමග එතුමාගේ ඥාතිත්වය කුමක් දැයි විමසු විට, එතුමා කියා සිටියේ "මගෙ අම්මයි විජයගේ ආච්චියි එක කුසේ උපන් සහෝදරියෝ. ඒ අනුව විජය මගේ ඥාති සො‍හොයුරියගේ පුතා. තවත් විදියකට කියනවා නම් බෑනා." යන්න යි.

උපතින් කතෝලිකයකු වූ ඔබතුමාහට බුදු දහම ගැන මෙතරම් දැනුමක් ලැබුණේ කෙසේ දැයි විමසූ විට..... "මම ‘එම්. ඒ.‘ (M.A.) එකට කරපු නිබන්ධය වුණේ ‘කාලාම සූත්‍රයේ තත්කාලීන අදාළත්වය පිළිබඳ ව යි. "පස්සෙ කාලෙක මම බෞද්ධ දර්ශනයේ හරය හැදෑරුවේ මහාචාර්ය වයි. කරුණාදාසයන්ගෙන්. මම හැම දෙයක් දිහා ම බලන්නේ විද්‍යාත්මක දෘෂ්ටිකෝණයකින්. මුලින් ම නිරීක්‍ෂණය කරනවා. ඊළඟට තර්කණය. ඊට පස්සේ උපන්‍යාසයක් හදාගෙන අනුභූතික ව අත්හදා බලනවා. ඕකටනේ විද්‍යාව කියන්නේ...." යැයි එතුමා පැවසි ය.

කාලෝ ෆොන්සේකා මහාචාර්යතුමා වෛද්‍යවරයෙක් පමණක් නොව හොඳ කලාකාරුවෙකි. එතුමා සුනිල් ශාන්තයන්ගෙන් සංගීතය හදාරා ඇත. මේ පිළිබඳ එතුමාගෙන් විමසූ විට එතුමා කියා සිටියේ "මා ඔබට කීවානේ 40 ගණන්වල මට සුනිල් ශාන්තගේ ආභාෂය තදින් ම බලපෑවයි කියලා. මා ඔහුගෙන් සංගීත පාඩම් කීපයක් ඉගෙන ගත්තා. ඒ සංගීත දැනුමේ කූඨප්‍රාප්තියක් වූයේ, ‘විරාගය’ නමැති සම්භාව්‍ය චිත්‍රපටයට පේළි හතරක තේමා ගීතයක් ලිවීමේ අවස්ථාව උදා කර ගැනීම යි. ඒ වගේ ම ‘කාලෝචිත ගී’ කැසට් පටයත් ‘රත්තරන් දුවේ’ සංයුත්ත තැටියත් එළිදැක්වීමත් ඒ සංගීත අද්දැකීමේ ම ප්‍රතිඵලයක්. ඊට ඇතුළත් වුණේ මා ලියූ ගී සංකල්පනා හා ස්වර මාලා ය..."

එතුමාගේ විනෝදාංශ සංගීතය ප්‍රමුඛ සම්භාව්‍ය කලාව ඇසුරු කිරීම යි. විද්‍යාවට ගණිතයට දක්‍ෂ දරුවන් කලාවෙන් ඇත් කොට තබන්නට උස්සහ කරන සමහර දෙමව්පියන්හට මෙය මහත් ආදර්ශයක් වනු ඇති බව මගේ විශ්වාසය යි.
           
කාලෝ ෆොන්සේකා මහාචාර්යතුමා සිනමාව, කලාව, සංගීතය යන ක්‍ෂේත්‍ර ගණනාවක ද ක්‍රියාකාරී පුද්ගලයෙකි. තම කථිකත්වය ද්විභාෂික ව හැසිරවිමට ඇති දක්‍ෂතාවත් නිසා මෙතුමා, සමාජ ක්‍රියාකාරකම්වල දී විශේෂයෙන් සිනමාව, නාට්‍ය හා බොහෝ සමාජ සංවාද මණ්‌ඩපවල දී ප්‍රමුඛස්ථානය  අනිවාර්ය වූ අප රටෙහි ජනප්‍රියම මහාචාර්යවරයෙකි.

මෙතුමා කිසිදිනක මුදල් අපේක්ෂාවෙන් වෙදකම කර නැත. රෝගීන්ගෙන් මුදල් ලබා ගෙන ද නැත. බුදුන් වහන්සේ වදාළ පරිදිම ගිලානෝපස්‌ථානය වෛද්‍යවරයකුගේ පරම සීලය ලෙස සලකමින් අදටත් උපදෙස් හෝ උපකාර පතාගෙන පැමිණෙන අසරණ මිනිසුන්ට හැකි උපරිමයෙන් මග පෙන්වීම ද උදව් උපකාර කිරීම ද කරනු ලබන ආකාරය මා දැක ඇත.

ශ්‍රී ලංකා කලා මණ්‌ඩලයේ සභාපති ලෙසත්,  දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති ලෙසත් කටයුතු කළ එතුමා, විජය කුමාරතුංග රෝහලේ සමාරම්භක සභාපති වශයෙන් මේ වන විටත් කටයුතු කරයි. ඒ අතර ම 2012 වර්ෂයේ සිට වසර 2017 දක්වා  ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධුරයෙ  හොබවන ලදී. 

මහාචාර්ය කාලෝ ෆොන්සේකා වයස අවුරුදු 86 දී හෘදයාබාධයකින් ඔහුගේ නිවසෙහිදී අභාවප්‍රාප්ත විය.




(මගේ මළකඳ කිසිදු උත්සවයකින් තොරව, කිසිදු දේශපාලන කතාවකින් තොරව, හැකි ඉක්මනින් රාගම වෛද්‍ය පිීඨයට භාරදෙන්න.  ඒ ගෙන යන විට  රතු කමිසයක් සහ සුදු කලිසමකින් පමණක්  සරසන්න.)
මහාචාර්ය කාලෝ ෆොන්සේකා.. 


   
අභාවප‍්‍රාප්ත මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ ඉල්ලීමක් මත ඔහුගේ දේහය රාගම වෛද්‍ය විද්‍යාලයට භාර කෙරිණි. 

තම දැනුමෙන් අන් අය ඔපවත් කල වියතාණෙනි ඔබට කල මෙහෙය අප හැම සැමදා අනුස්මරණය කරනු  ඇත. 

මහාචාර්යතුමනි
ඔබට නිවන් සුව.. 

.......



 Note, Blog Design and Presentation by Dr. M. B. S. Niranjala Fernando
සටහන, බ්ලොග් නිර්මාණය සහ ඉදිරිපත් කිරීම ආචාර්ය එම්. බී. එස්. නිරංජලා ප්‍රනාන්දු.